Wednesday, July 23, 2025

චූල සුඛාවතීව්‍යූහ සූත්‍රය

 


සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා!

මා විසින් මෙසේ අසන ලදී.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ, සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි, එක්දහස් දෙසිය පනසක් පමණ වූ, අභිඥාලාභී වූ, ප්‍රකට වූ, ස්ථවිර වූ, මහා ශ්‍රාවක වූ, සියල්ලෝම අර්හත් වූ මහත් භික්ෂු සංඝයා සමග වැඩ වසන සේක.

ඒ කවරහුද යත්? ආයුෂ්මත් සැරියුත් තෙරුන් ද, මහා මුගලන් තෙරුන් ද, මහා කස්සප තෙරුන් ද, මහා කප්පින තෙරුන් ද, මහා කච්චාන තෙරුන් ද, මහා කොට්ඨිත තෙරුන් ද, රේවත තෙරුන් ද, ශුද්ධිපන්ථක තෙරුන් ද, නන්ද තෙරුන් ද, ආනන්ද තෙරුන් ද, රාහුල තෙරුන් ද, ගවම්පති තෙරුන් ද, භාරද්වාජ තෙරුන් ද, කාලුදායී තෙරුන් ද, වක්කල තෙරුන් ද, අනුරුද්ධ තෙරුන් ද යන මොහු ය.

මේ ආදී වූ අන්‍ය වූ ද බොහෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා ද, බොහෝ වූ මහාසත්ව වූ බෝධිසත්වයන් වහන්සේලා ද සමග ය.

ඒ කවරහුද යත්? මංජුශ්‍රී කුමාරභූතයන් වහන්සේ ද, අජිත බෝධිසත්වයන් වහන්සේ ද, ගන්ධහස්තී බෝධිසත්වයන් වහන්සේ ද, නිත්‍යෝද්‍යුක්ත බෝධිසත්වයන් වහන්සේ ද, අනික්ෂිප්තධුර බෝධිසත්වයන් වහන්සේ ද යන මොහු ය.

මේ ආදී වූ අන්‍ය වූ ද බොහෝ මහාසත්ව වූ බෝධිසත්වයන් වහන්සේලා ද සමග ය.

දෙවියන්ට අධිපති වූ ශක්‍රයා ද, සහම්පතී නම් වූ බ්‍රහ්මයා ද, මේ ආදී වූ අන්‍ය වූ ද නයුත ශත සහස්‍ර සංඛ්‍යාත බොහෝ දේවපුත්‍රයෝ ද එහි වූහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක:

"ශාරීපුත්‍රයෙනි, මෙයින් බටහිර දිශාභාගයෙහි, කෝටි ශත සහස්‍රයක් බුද්ධ ක්ෂේත්‍රයන් ඉක්මවා ගිය තැන, සුඛාවතී නම් ලෝක ධාතුවක් ඇත්තේ ය. එහි අමිතායුස් නම් වූ තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ මේ වන විටත් වැඩ සිටින සේක, ජීවමානව වැඩ වසන සේක, ධර්මය ද දේශනා කරන සේක.

ශාරීපුත්‍රයෙනි, ඒ කිමැයි හඟින්නෙහි ද? කවර හෙයෙකින් ඒ ලෝක ධාතුව සුඛාවතී යැයි කියනු ලැබේද? ශාරීපුත්‍රයෙනි, ඒ සුඛාවතී ලෝක ධාතුවෙහි වනාහී සත්වයන්ට කායික දුකක් හෝ චිත්ත දුකක් හෝ නැත්තේ ය. අප්‍රමාණ වූ සැපයට හේතු වන කරුණු ම ඇත්තේ ය. එහෙයින් ඒ ලෝක ධාතුව සුඛාවතී යැයි කියනු ලැබේ.

තවද, ශාරීපුත්‍රයෙනි, සුඛාවතී ලෝක ධාතුව සත් වැදෑරුම් වේදිකාවන්ගෙන් ද, සත් වැදෑරුම් තාල වෘක්ෂ පන්තීන්ගෙන් ද, කිංකිණි ජාලයන්ගෙන් ද සමලංකෘත ය. හාත්පසින් අනුපරික්ෂිප්ත ය. රන්, රිදී, වෛදූර්‍ය්‍ය, ස්ඵටික යන සිව් රුවනින් විචිත්‍ර ය, දර්ශනීය ය. ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රය මෙබඳු වූ බුද්ධ ක්ෂේත්‍ර ගුණ ව්‍යූහයන්ගෙන් සමලංකෘත වන්නේ ය.

තවද, ශාරීපුත්‍රයෙනි, සුඛාවතී ලෝක ධාතුවෙහි සප්ත රත්නමය පුෂ්කරණීහු ඇත්තාහ. එනම්: රන්, රිදී, වෛදූර්‍ය්‍ය, ස්ඵටික, ලෝහිතමුක්තා, අශ්මගර්භ, සත්වන රත්නය වූ මුසාරගල්ව යන මේ සප්ත රත්නයන්ගෙනි. අෂ්ටාංගයෙන් සමන්වාගත වූ ජලයෙන් පිරී පවතී. සම තීර්ථ ඇත්තේ ය. කපුටන්ට පවා පානය කළ හැකි තරම් ය. රන්වන් වැලිතලාවෙන් අතුරන ලද්දේ ය. ඒ පුෂ්කරණීන්හි හාත්පස සිව් දිශාවෙහි සිව් රුවනින් නිමවූ විචිත්‍ර වූ, දර්ශනීය වූ සෝපානයෝ වෙති. එනම්: රන්, රිදී, වෛදූර්‍ය්‍ය, ස්ඵටික යන මේවා ය. ඒ පුෂ්කරණීන් වටා සප්ත රත්නයෙන් නිමවූ, විචිත්‍ර වූ, දර්ශනීය වූ රත්න වෘක්ෂයෝ හටගෙන ඇත්තාහ. එනම්: රන්, රිදී, වෛදූර්‍ය්‍ය, ස්ඵටික, ලෝහිතමුක්තා, අශ්මගර්භ, සත්වන රත්නය වූ මුසාරගල්ව යන මේවා ය. ඒ පුෂ්කරණීන්හි පද්මයෝ හටගෙන ඇත්තාහ. නීල වර්ණ වූ, නීල පැහැයෙන් බබළන, නීල නිදර්ශන වූ නීල පද්මයෝ ය. පීත වර්ණ වූ, පීත පැහැයෙන් බබළන, පීත නිදර්ශන වූ පීත පද්මයෝ ය. ලෝහිත වර්ණ වූ, ලෝහිත පැහැයෙන් බබළන, ලෝහිත නිදර්ශන වූ ලෝහිත පද්මයෝ ය. අවදාත (සුදු) වර්ණ වූ, අවදාත පැහැයෙන් බබළන, අවදාත නිදර්ශන වූ අවදාත පද්මයෝ ය. විචිත්‍ර වර්ණ වූ, විචිත්‍ර පැහැයෙන් බබළන, විචිත්‍ර නිදර්ශන වූ, රියසකක් පමණ විශාල වූ පද්මයෝ ය. ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රය මෙබඳු වූ බුද්ධ ක්ෂේත්‍ර ගුණ ව්‍යූහයන්ගෙන් සමලංකෘත වන්නේ ය.

තවද, ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රයෙහි නිරන්තරයෙන් දිව්‍යමය තූර්‍ය්‍ය නාද පවත්වනු ලැබේ. මහා පෘථිවිය රන්වන් ය, රමණීය ය. ඒ බුද්ධ ක්ෂේත්‍රයෙහි රත්‍රියෙහි තුන් වරක් ද, දිවා කාලයෙහි තුන් වරක් ද, දිව්‍යමය මන්දාරව පුෂ්ප වර්ෂා වසින්නේ ය. එහි උපන් සත්වයෝ එක් පූර්වභක්ත කෘත්‍යයකින් අන්‍ය ලෝක ධාතූන්ට ගොස් කෝටි ශත සහස්‍රයක් බුදුවරුන්ට වන්දනා කරත්. එක එක තථාගතයන් වහන්සේට කෝටි ශත සහස්‍ර සංඛ්‍යාත පුෂ්ප වර්ෂාවන්ගෙන් පූජා කොට, නැවතත් දිවා විහරණය පිණිස ඒ ලෝක ධාතුවට ම පැමිණෙත්. ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රය මෙබඳු වූ බුද්ධ ක්ෂේත්‍ර ගුණ ව්‍යූහයන්ගෙන් සමලංකෘත වන්නේ ය.

තවද, ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රයෙහි හංසයෝ ද, ක්‍රෞංචයෝ ද, මයුරයෝ ද ඇත්තාහ. ඔවුහු රත්‍රියෙහි තුන් වරක් ද, දිවා කාලයෙහි තුන් වරක් ද, එක්රැස්ව සංගීතයක් පවත්වත්. තම තමන්ගේ හඬ නඟත්. ඔවුන්ගේ ඒ හඬින් ඉන්ද්‍රිය, බල, බෝධ්‍යංග යන ධර්ම ශබ්දය නික්මෙයි. එහි වසන මනුෂ්‍යයන්ට ඒ ශබ්දය අසා බුද්ධ මනසිකාරය ද, ධර්ම මනසිකාරය ද, සංඝ මනසිකාරය ද උපදී. ශාරීපුත්‍රයෙනි, ඒ කිමැයි හඟින්නෙහි ද? ඒ සත්වයෝ තිරිසන් යෝනියෙහි උපන්නෝ ද? නැවත එසේ නොදැක්ක යුතු ය. ඒ කවර හෙයින් ද යත්? ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රයෙහි නිරයන්ගේ නාමයක්වත් නැත්තේ ය. තිරිසන් යෝනීන්ගේ හෝ යම ලෝකයක හෝ නාමයක්වත් නැත්තේ ය. ඒ පක්ෂි සංඝයා වනාහී, ඒ අමිතායුස් තථාගතයන් වහන්සේ විසින් ධර්ම ශබ්දය පැතිරවීම පිණිස මවන ලද්දෝ ය. ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රය මෙබඳු වූ බුද්ධ ක්ෂේත්‍ර ගුණ ව්‍යූහයන්ගෙන් සමලංකෘත වන්නේ ය.

තවද, ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රයෙහි වූ ඒ තාල වෘක්ෂ පන්තීන්ගෙන් ද, ඒ කිංකිණි ජාලයන්ගෙන් ද, සුළඟින් සෙලවෙන කල්හි, මන වඩන මනෝඥ වූ ශබ්දයක් නික්මෙයි. ශාරීපුත්‍රයෙනි, යම්සේ කෝටි ශත සහස්‍රයක් අංගයන්ගෙන් යුත් දිව්‍ය තූර්‍ය්‍ය භාණ්ඩයක් ශිල්පීන් විසින් මැනවින් වාදනය කළ කල්හි මන වඩන මනෝඥ වූ ශබ්දයක් නික්මේ ද, එපරිද්දෙන් ම, ශාරීපුත්‍රයෙනි, ඒ තාල වෘක්ෂ පන්තීන්ගෙන් ද, ඒ කිංකිණි ජාලයන්ගෙන් ද, සුළඟින් සෙලවෙන කල්හි මන වඩන මනෝඥ වූ ශබ්දයක් නික්මෙයි. එහි වසන මනුෂ්‍යයන්ට ඒ ශබ්දය අසා, බුද්ධානුස්මෘතිය කයෙහි පිහිටයි, ධර්මානුස්මෘතිය කයෙහි පිහිටයි, සංඝානුස්මෘතිය කයෙහි පිහිටයි. ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රය මෙබඳු වූ බුද්ධ ක්ෂේත්‍ර ගුණ ව්‍යූහයන්ගෙන් සමලංකෘත වන්නේ ය.

ශාරීපුත්‍රයෙනි, ඒ කිමැයි හඟින්නෙහි ද? කවර හෙයෙකින් ඒ තථාගතයන් වහන්සේ අමිතායුස් යැයි කියනු ලැබේද? ශාරීපුත්‍රයෙනි, ඒ තථාගතයන් වහන්සේගේ ද, එහි වසන මනුෂ්‍යයන්ගේ ද ආයුෂ ප්‍රමාණය අපරිමිත ය. එහෙයින් ඒ තථාගතයන් වහන්සේ අමිතායුස් යැයි කියනු ලැබේ. ශාරීපුත්‍රයෙනි, ඒ තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කොට දස කල්පයක් ගතවී ඇත.

ශාරීපුත්‍රයෙනි, ඒ කිමැයි හඟින්නෙහි ද? කවර හෙයෙකින් ඒ තථාගතයන් වහන්සේ අමිතාභ යැයි කියනු ලැබේද? ශාරීපුත්‍රයෙනි, ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රභාව සියලු බුද්ධ ක්ෂේත්‍රයන්හි බාධාවකින් තොරව පැතිර පවතී. එහෙයින් ඒ තථාගතයන් වහන්සේ අමිතාභ යැයි කියනු ලැබේ. ශාරීපුත්‍රයෙනි, ඒ තථාගතයන් වහන්සේට අප්‍රමේය වූ ශ්‍රාවක සංඝයෙක් වෙයි. ඒ අර්හත් වූ බුද්ධ ශ්‍රාවකයන්ගේ ප්‍රමාණය කියා නිම කිරීම පහසු නොවේ. ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රය මෙබඳු වූ බුද්ධ ක්ෂේත්‍ර ගුණ ව්‍යූහයන්ගෙන් සමලංකෘත වන්නේ ය.

තවද, ශාරීපුත්‍රයෙනි, අමිතායුස් තථාගතයන් වහන්සේගේ බුද්ධ ක්ෂේත්‍රයෙහි යම් සත්වයෝ උපන්නාහු ද, ඔවුහු සියල්ලෝ ම අවෛවර්තික (නැවත නොපිරිහෙන) බෝධිසත්වයෝ ය. එකම ජාතියකින් බුදුබව ලබන්නෝ ය. ශාරීපුත්‍රයෙනි, ඒ බෝධිසත්වයන්ගේ ප්‍රමාණය කියා නිම කිරීම පහසු නොවේ. අප්‍රමේය, අසංඛ්‍යෙය යන සංඛ්‍යාවට ඔවුහු පැමිණෙත්.

එහෙයින්, ශාරීපුත්‍රයෙනි, ඒ බුද්ධ ක්ෂේත්‍රයෙහි උපත ලැබීම පිණිස සත්වයින් විසින් ප්‍රණිධානය කළ යුතු ය. ඒ කවර හෙයින් ද යත්? එහි එබඳු සත්පුරුෂයන් සමග එක්ව විසීමට ලැබෙන බැවිනි.

ශාරීපුත්‍රයෙනි, ස්වල්ප මාත්‍ර වූ කුශල මූලයකින් අමිතායුස් තථාගතයන් වහන්සේගේ බුද්ධ ක්ෂේත්‍රයෙහි සත්වයෝ නූපදිත්. ශාරීපුත්‍රයෙනි, යම් කිසි කුලපුත්‍රයෙක් හෝ කුලදුහිතෘවක් හෝ ඒ භාග්‍යවත් අමිතායුස් තථාගතයන් වහන්සේගේ නාමධේය අසන්නේ ද, අසා එය එක් රැයක් හෝ, දෙ රැයක් හෝ, තුන් රැයක් හෝ, සතර රැයක් හෝ, පස් රැයක් හෝ, සය රැයක් හෝ, සත් රැයක් හෝ නොවිසිරුණු සිතින් මෙනෙහි කරන්නේ ද, ඒ කුලපුත්‍රයා හෝ කුලදුහිතෘව හෝ යම් කලෙක කාලක්‍රියා කරන්නේ ද, ඔහුගේ කාලක්‍රියා කරන මොහොතෙහි ඒ අමිතායුස් තථාගතයන් වහන්සේ ශ්‍රාවක සංඝයා විසින් පිරිවරන ලද්දේ, බෝධිසත්ව ගණයා විසින් පුරස්කාර කරන ලද්දේ, ඔහු ඉදිරියෙහි පෙනී සිටින සේක. හෙතෙම නොවිපර්‍ය්‍යස්ත වූ සිතින් යුතුව කාලක්‍රියා කරන්නේ ය. කාලක්‍රියා කොට, ඒ අමිතායුස් තථාගතයන් වහන්සේගේ සුඛාවතී නම් ලෝක ධාතුවෙහි වූ බුද්ධ ක්ෂේත්‍රයෙහි උපදින්නේ ය. එහෙයින්, ශාරීපුත්‍රයෙනි, මේ අර්ථවශය දැක මම මෙසේ කියමි: කුලපුත්‍රයෙකු විසින් හෝ කුලදුහිතෘවක් විසින් හෝ ගෞරවයෙන් යුතුව ඒ බුද්ධ ක්ෂේත්‍රයෙහි චිත්ත ප්‍රණිධානය කළ යුතු ය.

ශාරීපුත්‍රයෙනි, යම් සේ මම දැන් ඒ බුදුන් වර්ණනා කරම් ද, එසෙයින් ම, ශාරීපුත්‍රයෙනි, පූර්ව දිශාභාගයෙහි අක්ෂෝභ්‍ය නම් තථාගතයන් වහන්සේ ද, මේරුධ්වජ නම් තථාගතයන් වහන්සේ ද, මහාමේරු නම් තථාගතයන් වහන්සේ ද, මේරුප්‍රභාස නම් තථාගතයන් වහන්සේ ද, මංජුධ්වජ නම් තථාගතයන් වහන්සේ ද, මේ ආදී වූ, ශාරීපුත්‍රයෙනි, පූර්ව දිශාභාගයෙහි ගංගා නදී වැලි පමණ වූ බුදු භාග්‍යවතුන් වහන්සේලා තම තමන්ගේ බුද්ධ ක්ෂේත්‍රයන් ස්වකීය ජිහ්වේන්ද්‍රියෙන් වසා ලා, මේ වචනය ප්‍රකාශ කරත්: 'නුඹලා ද, සිතා ගත නොහැකි ගුණ වර්ණනාවෙන් යුත්, සර්ව බුද්ධ පරිග්‍රහ නම් වූ මේ ධර්ම පර්‍ය්‍යායය අදහා ගනිව්' යි කියා ය.

එසෙයින් ම දක්ෂිණ දිශාභාගයෙහි චන්ද්‍රසූර්‍ය්‍යප්‍රදීප නම් තථාගතයන් වහන්සේ ද, යශඃප්‍රභ නම් තථාගතයන් වහන්සේ ද, මහාර්චිස්කන්ධ නම් තථාගතයන් වහන්සේ ද, මේරුප්‍රදීප නම් තථාගතයන් වහන්සේ ද, අනන්තවීර්‍ය්‍ය නම් තථාගතයන් වහන්සේ ද, මේ ආදී වූ, ශාරීපුත්‍රයෙනි, දක්ෂිණ දිශාභාගයෙහි ගංගා නදී වැලි පමණ වූ බුදු භාග්‍යවතුන් වහන්සේලා තම තමන්ගේ බුද්ධ ක්ෂේත්‍රයන් ස්වකීය ජිහ්වේන්ද්‍රියෙන් වසා ලා, මේ වචනය ප්‍රකාශ කරත්: 'නුඹලා ද, සිතා ගත නොහැකි ගුණ වර්ණනාවෙන් යුත්, සර්ව බුද්ධ පරිග්‍රහ නම් වූ මේ ධර්ම පර්‍ය්‍යායය අදහා ගනිව්' යි කියා ය.

එසෙයින් ම පශ්චිම දිශාභාගයෙහි අමිතායුස් නම් තථාගතයන් වහන්සේ ද, අමිතස්කන්ධ නම් තථාගතයන් වහන්සේ ද, අමිතධ්වජ නම් තථාගතයන් වහන්සේ ද, මහාප්‍රභ නම් තථාගතයන් වහන්සේ ද, මහාරත්නකේතු නම් තථාගතයන් වහන්සේ ද, ශුද්ධරශ්මිප්‍රභ නම් තථාගතයන් වහන්සේ ද, මේ ආදී වූ, ශාරීපුත්‍රයෙනි, පශ්චිම දිශාභාගයෙහි ගංගා නදී වැලි පමණ වූ බුදු භාග්‍යවතුන් වහන්සේලා තම තමන්ගේ බුද්ධ ක්ෂේත්‍රයන් ස්වකීය ජිහ්වේන්ද්‍රියෙන් වසා ලා, මේ වචනය ප්‍රකාශ කරත්: 'නුඹලා ද, සිතා ගත නොහැකි ගුණ වර්ණනාවෙන් යුත්, සර්ව බුද්ධ පරිග්‍රහ නම් වූ මේ ධර්ම පර්‍ය්‍යායය අදහා ගනිව්' යි කියා ය.

එසෙයින් ම උත්තර දිශාභාගයෙහි මහාර්චිස්කන්ධ නම් තථාගතයන් වහන්සේ ද, වෛශ්වානරනිර්ඝෝෂ නම් තථාගතයන් වහන්සේ ද, දුන්දුභිස්වරනිර්ඝෝෂ නම් තථාගතයන් වහන්සේ ද, දුෂ්ප්‍රධර්ෂ නම් තථාගතයන් වහන්සේ ද, ආදිත්‍යසම්භව නම් තථාගතයන් වහන්සේ ද, ජාලිනීප්‍රභ නම් තථාගතයන් වහන්සේ ද, ප්‍රභාකර නම් තථාගතයන් වහන්සේ ද, මේ ආදී වූ, ශාරීපුත්‍රයෙනි, උත්තර දිශාභාගයෙහි ගංගා නදී වැලි පමණ වූ බුදු භාග්‍යවතුන් වහන්සේලා තම තමන්ගේ බුද්ධ ක්ෂේත්‍රයන් ස්වකීය ජිහ්වේන්ද්‍රියෙන් වසා ලා, මේ වචනය ප්‍රකාශ කරත්: 'නුඹලා ද, සිතා ගත නොහැකි ගුණ වර්ණනාවෙන් යුත්, සර්ව බුද්ධ පරිග්‍රහ නම් වූ මේ ධර්ම පර්‍ය්‍යායය අදහා ගනිව්' යි කියා ය.

එසෙයින් ම අධෝ දිශාභාගයෙහි සිංහ නම් තථාගතයන් වහන්සේ ද, යශස් නම් තථාගතයන් වහන්සේ ද, යශඃප්‍රභාස නම් තථාගතයන් වහන්සේ ද, ධර්ම නම් තථාගතයන් වහන්සේ ද, ධර්මධර නම් තථාගතයන් වහන්සේ ද, ධර්මධ්වජ නම් තථාගතයන් වහන්සේ ද, මේ ආදී වූ, ශාරීපුත්‍රයෙනි, අධෝ දිශාභාගයෙහි ගංගා නදී වැලි පමණ වූ බුදු භාග්‍යවතුන් වහන්සේලා තම තමන්ගේ බුද්ධ ක්ෂේත්‍රයන් ස්වකීය ජිහ්වේන්ද්‍රියෙන් වසා ලා, මේ වචනය ප්‍රකාශ කරත්: 'නුඹලා ද, සිතා ගත නොහැකි ගුණ වර්ණනාවෙන් යුත්, සර්ව බුද්ධ පරිග්‍රහ නම් වූ මේ ධර්ම පර්‍ය්‍යායය අදහා ගනිව්' යි කියා ය.

එසෙයින් ම උපරි දිශාභාගයෙහි බ්‍රහ්මඝෝෂ නම් තථාගතයන් වහන්සේ ද, නක්ෂත්‍රරාජ නම් තථාගතයන් වහන්සේ ද, ඉන්ද්‍රකේතුධ්වජරාජ නම් තථාගතයන් වහන්සේ ද, ගන්ධෝත්තම නම් තථාගතයන් වහන්සේ ද, ගන්ධප්‍රභාස නම් තථාගතයන් වහන්සේ ද, මහාර්චිස්කන්ධ නම් තථාගතයන් වහන්සේ ද, සාලේන්ද්‍රරාජ නම් තථාගතයන් වහන්සේ ද, රත්නකුසුමසම්පුෂ්පිතගාත්‍ර නම් තථාගතයන් වහන්සේ ද, රත්නෝත්පලශ්‍රී නම් තථාගතයන් වහන්සේ ද, සර්වාර්ථදර්ශ නම් තථාගතයන් වහන්සේ ද, සුමේරුකල්ප නම් තථාගතයන් වහන්සේ ද, මේ ආදී වූ, ශාරීපුත්‍රයෙනි, උපරි දිශාභාගයෙහි ගංගා නදී වැලි පමණ වූ බුදු භාග්‍යවතුන් වහන්සේලා තම තමන්ගේ බුද්ධ ක්ෂේත්‍රයන් ස්වකීය ජිහ්වේන්ද්‍රියෙන් වසා ලා, මේ වචනය ප්‍රකාශ කරත්: 'නුඹලා ද, සිතා ගත නොහැකි ගුණ වර්ණනාවෙන් යුත්, සර්ව බුද්ධ පරිග්‍රහ නම් වූ මේ ධර්ම පර්‍ය්‍යායය අදහා ගනිව්' යි කියා ය.

ශාරීපුත්‍රයෙනි, ඒ කිමැයි හඟින්නෙහි ද? කවර හෙයෙකින් මේ ධර්ම පර්‍ය්‍යායය සර්ව බුද්ධ පරිග්‍රහ යැයි කියනු ලැබේද? ශාරීපුත්‍රයෙනි, යම් කිසි කුලපුත්‍රයෙක් හෝ කුලදුහිතෘවක් හෝ මේ ධර්ම පර්‍ය්‍යායයේ නාමධේය අසන්නේ ද, ඒ බුදු භාග්‍යවතුන් වහන්සේලාගේ නාමධේය දරන්නේ ද, ඒ සියල්ලෝ ම සකල බුදුවරුන් විසින් පරිග්‍රහණය කරනු ලබන්නාහ. අනුත්තර සම්‍යක්සම්බෝධියෙන් අවෛවර්තික (නොපිරිහෙන) බවට ද පැමිණෙන්නාහ. එහෙයින්, ශාරීපුත්‍රයෙනි, මාගේත්, ඒ බුදු භාග්‍යවතුන් වහන්සේලාගේත් වචනය කෙරෙහි සැක නොකොට ශ්‍රද්ධාව ඇති කර ගනිව්, අදහා ගනිව්.

ශාරීපුත්‍රයෙනි, යම් කිසි කුලපුත්‍රයෙක් හෝ කුලදුහිතෘවක් හෝ ඒ භාග්‍යවත් අමිතායුස් තථාගතයන් වහන්සේගේ බුද්ධ ක්ෂේත්‍රයෙහි චිත්ත ප්‍රණිධානය කරන්නාහු ද, කළාහු ද, කරත් ද, ඒ සියල්ලෝ ම අනුත්තර සම්‍යක්සම්බෝධියෙන් අවෛවර්තික වන්නාහ. ඒ බුද්ධ ක්ෂේත්‍රයෙහි උපදින්නාහ, උපන්නාහ හෝ උපදිනු ලබන්නාහ. එහෙයින්, ශාරීපුත්‍රයෙනි, ශ්‍රද්ධා ඇති කුලපුත්‍රයන් විසින් ද, කුලදුහිතෘවරුන් විසින් ද, ඒ බුද්ධ ක්ෂේත්‍රයෙහි චිත්ත ප්‍රණිධිය ඉපදවිය යුතු ය.

ශාරීපුත්‍රයෙනි, යම් සේ මම දැන් ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ මෙබඳු අචින්ත්‍ය ගුණයන් වර්ණනා කරම් ද, එපරිද්දෙන් ම, ශාරීපුත්‍රයෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේලා ද මාගේ අචින්ත්‍ය ගුණයන් මෙසේ වර්ණනා කරත්: 'භාග්‍යවත් ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේ විසින්, ශාක්‍යයන්ගේ අධිපතීන් වහන්සේ විසින් අතිශයින් දුෂ්කර වූවක් කරන ලදී. සහා නම් වූ මේ ලෝක ධාතුවෙහි දී අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කොට, කල්ප කෂාය, සත්ව කෂාය, දෘෂ්ටි කෂාය, ආයුෂ් කෂාය, ක්ලේශ කෂාය යන (පංච කෂාය සමයෙහි) සකල ලෝකයාට විරුද්ධ වූ ධර්මයක් දේශනා කරන ලදී.'

ශාරීපුත්‍රයෙනි, මා විසින් ද, සහා නම් වූ මේ ලෝක ධාතුවෙහි අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කොට, කල්ප කෂාය, සත්ව කෂාය, දෘෂ්ටි කෂාය, ආයුෂ් කෂාය, ක්ලේශ කෂාය යන (පංච කෂාය සමයෙහි) සකල ලෝකයාට විරුද්ධ වූ ධර්මයක් දේශනා කිරීම පරම දුෂ්කර වූවකි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති වූ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ද, ඒ භික්ෂූන් වහන්සේලා ද, ඒ බෝධිසත්වයන් වහන්සේලා ද, දෙවියන්, මනුෂ්‍යයන්, අසුරයන් හා ගාන්ධර්වයන් සහිත ලෝකයා ද භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

සුඛාවතීව්‍යූහ නම් වූ මහායාන සූත්‍රය නිමියේ ය.

Tuesday, December 17, 2019

මහා ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය වන අමිතාභ බුදුන් වහන්සේ



සුඛාවති ව්‍යහ සූත්‍රයට අනුකූලව අමිතාභ බුදුන් යනු ලෝකයේ වෙනත්ම යුගයක බුද්ධත්වය ලැබූ ධර්මකාර නම් භික්ෂුන් වහන්සේය. ලෝකෙශ්වර රාජ් බුදුන්ගේ මඟ යමින් බුද්ධත්වය සාක්ෂාත් කරගත් ධර්මකාර රජු උන්වහන්සේ සුඛාවති නම් බුද්ධ විශ්වයට පමණක් ගෝචර පරම පවිත්‍ර බුද්ධ ක්ශේත්‍රය නිර්මාණය කළේය. උන්වහන්සේ තුළින් අපරිමිති ප්‍රඥාව ප්‍රතිරූපනය වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සුඛාවති බුද්ධ ක්ෂේත්‍රය තුළ ජන්මය ලැබීමට අවශ්‍ය භාවනාවන් 16ක් පිළිබඳව අමිතායුර්ධ්‍යාන සූත්‍රයේහි දේශණා කර ඇත. සුඛාවතිව්‍යහ සූත්‍රයට අනුව අමිතාභ බුදුරජාණන්  වහන්සේ සමස්ථ බෞද්ධ ශ්‍රාවකයන් හට පොරොන්දු 48ක් ලබා දී තිබෙනවා. එයින් 18 වන පොරොන්දුවට අනුව යම් බෞද්ධයකු අමිතාභ බුද්ධ ක්ෂේත්‍රය තුළ ජන්මය ලැබීමට අදහස් කරනවනම් උන්වහන්සේගේ නාමය 10 වරක් උච්චාරනය කිරිම පමණක් ප්‍රමාණවත්. උන්වහන්සේගේ 19වන පොරොන්දුවට අනුව උන්වහන්සේගේ නාමය උච්චාරනය කරන ශ්‍රාවකයන්ගේ අවසාන මොහොතේදි උන්වහන්සේ තම බෝධිසත්වයන් සමඟ ඔවුන්ගේ ඉදිරියට පැමිණෙන බවයි.


අමිතාභ බුදුන් වහන්සේ යනු අපරමිත ප්‍රඥාවයි. අමිතායුර්ධ්‍යාන සූත්‍රයේ ගෞතම බුදුන් වහන්සේ බිම්බිසාර රජුගේ අගමෙහෙසිය වන වෛදේහි බිසවට සහ අනද තෙරුන් හට අමිතාභ බුදුන් වහන්සේගේ බෞතික කාය පිළිබඳව මෙසේ විස්තර කරයි.

ආනන්දයෙනි, එම අමිතායුෂ් බුදුරජාණන් වහන්සේගේ ශරීරය යම රජුගේ දිව්‍ය විමානයේ ඇති ජාම්බුනද රතරන් පැහැයෙහි දීප්තිය මෙන් දස ලක්ෂ ලක්ෂවාරයක් වැඩි පැහැඅයිකින් යුක්තය. උන්වහන්සේගේ උස ප්‍රමාණය ගංගා නදියෙහි වැලි මෙන් යොදුන් කෝටි හය ලක්ෂයක් වන්නේය. දකුණු පසට හැරි ඇති උන්වහන්සේගේ ඇහි බැම දෙක මැද පිහිටි සුදු පැහැති ඌර්ණ රෝමය සුමේරූ පර්වතයන් පහ බඳු ය. එහි නිල් පැහැය සහ සුදු පැහැය පැහැදිලිවම දැක ගත හැක.

උන්වහන්සේගේ ශරීරයේ රෝමකූප මූලයන්ගෙන් සුමේරු පර්වතය බඳු වූ දීප්තිමත් රැස් ධාරා විහිදෙන්නේය. උන්වහන්සේගේ රැස් වළල්ල මහා ලෝක ධාතුන් දස ලක්ෂ සියයක් බඳුය. එම රැස් වළල්ල තුළ ගංගා නම් නදියේ අනන්ත වූ වැලි මෙන් අනන්ත වූ කෝටි නහුත දස ලක්ෂයක් බුදු වහන්සේලා ප්‍රාතිහාර්ය බලයෙන් මවනු ලබා ඇත්තාහ. ඒ හැම බුදුන් වහන්සේ නමක් වෙතම ප්‍රාතිහාර්ය බලයෙන් මවන ලද අනන්ත වූ බෝධිසත්ව සමූහද ඇත්තාහ.


අමිතායුෂ් බුදුන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ අසුහාර දහසක් ඇත්තේය. ඒ සෑම මහා පුරුෂ ලක්ෂණයකටම අනු ව්‍යංජන අසූහතර බැගින් ඇත්තේය. ඒ හැම අනුව්‍යංජනයකට ම රැස් ධාරා අසුහාර දහසක් බැගින් ඇත්තේය. ඒ හැම රැස් ධාරාවක්ම දස දිශාවෙහි පිහිටි ලෝක කරා ගොස් ඒවා අලෝකමත් කරයි.




Sunday, June 2, 2019

ප්‍රඥාපාරමිතා හෘදය සූත්‍රය - प्रज्ञापारमिताहृदय






ලෝකයේ පරමාර්ථය මූලධර්මය වන්නේ පුරුෂ මූලධර්මය නොව ස්ත්‍රී මූලධර්මය වන බව ප්‍රඥාපාරමිතා සාහිත්‍යයෙන් පැහැදිලි කරදෙයි. ස්ත්‍රීත්ව මූලධර්මය ගැන අපූර්ව විග්‍රහයක් එයින් මතු වී එන බව පෙනේ.

බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති සියලු සූත්‍රයෙන් අතුරින් ප්‍රඥාපාරමිතා සූත්‍ර දේශනා අග්‍ර වන්නේ යැයි සදහන්ව ඇත. මක්නිසාද යත් ප්‍රඥාපාරමිතාව අවබෝධ කරගත් විට සියලු පාරමිතාවන් ඉබේම අංග සම්පූර්ණ වන හෙයිනි. ප්‍රඥාපාරමිතා හෘදය සූත්‍රය සමස්ථ ප්‍රඥාපාරමිතා සූත්‍රයන්හී හරය ලෙසින් දැක්විය හැකිය.

ඕම් නමෝ භවත්‍ය ආර්‍ය ප්‍රඥාපාරමිතායේ

භාග්‍යවත් වූ ආර්ය ප්‍රඥාපාරමිතා දේවියට නමස්කාර වේවා.

ආර්‍ය  අවලෝකිතේශ්වරෝ බෝධිසත්වෝ ගම්භීරං ප්‍රඥාපාරමිතාවර්‍ය්ං වරමානෝ ව්‍යවලෝකයති ස්ම : පඤ්චස්කන්ධාස් තාංශ්ව ස්වභාවශුන්‍යාං පශ්‍යති ස්ම.

ආර්‍ය අවලෝකිතේශ්වර බෝධිසත්වයෝ ගැඹුරු වූ ප්‍රඥා පාරමිතාව තුල සැරිසරමින් මෙසේ උඩ සිට සිට සැරිසරමින් මෙසේ උඩ සිට පහත බලන්නාහ. ( අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට අවලෝකිත යැයි කියා ඇත්තේ ඔහු උඩ සිට මහා කරුණාවෙන් යුක්තව ලොව දෙස බැලුම් හෙළන නිසාය) පංචස්කන්ධයන් ද ඒවා ස්වභාවයෙන්ම ශුණ්‍ය වන ලෙස ද එතුමෝ දකින්නාහ.  ( ප්‍රඥාවේ සුවිශේෂී වු ක්‍රියාකාරිත්වය වන්නේ දේවල්වල ස්ව-භාවය තුළට විනිවිද දැකීමය. අවලෝකිත තම ප්‍රඥා චක්ෂුසය ඇසුරින් ඒ තුළට සෘජුවම විනිවිද යන සේ සෘජුවම විනිවිද යන සේ විනිවිද යන සේ බැලුවේය. දේවල් ස්ව-භාවය වශයෙන් දැකීම යනු එවා ඇතිසැටියෙන්ම නියම ලෙසින්ම පවතින අකාරය දැකිමය. ශුණ්‍ය යනු නිරුක්තමය වශයෙන් ගත් විට විශාල වූ දෙයක් වශයෙන් පෙනෙන දෙයක් ඇත්ත වශයෙන්ම නොකිසිවක් වන බව පිළිබඳ අදහස එයින් ඉදිරිපත් කරයි. බාහිරින් පෙනෙන්නේ බොහෝ දෙයක් තිබෙන බව ය. එහෙත් ඒ පිටිපස්සේ ඇත්ත වශයෙන්ම කිසිවක් ඇත්තේ නැත)

ඉහ ශාරිපුත්‍ර රූපම් ශුන්‍යතා ශුන්‍යතෛව රූපම්, රූපම් න පෘථක් ශුන්‍යතා ශුන්‍යතායා න පෘථග් රූපම්, යද් රූපම් සා ශුන්‍යතා යා ශුන්‍යතා තද් රූපම් : ඒවම් ඒව වේදමා සංඥා - සංස්කාරා - විඥානම්.

මෙහිදී ශාරිපුත්‍රයනි රූපය ශුන්‍යතාව වන අතර ශුන්‍යතාව රූපය වන්නේය. රූපය ශුන්‍යතාවෙන් වෙන් නොවන අතර ශුන්‍යතාව රූපයෙන් වෙන් නොවන්නේ ය. යමක් රූපය වන්නේද එය ශුන්‍යතාව වන්නේය. යමක් ශුන්‍යතාව වන්නේ ද එය රූපය වන්නේය. වේදනා සංඥා සංස්කාර සහ විඤ්ඤාණ සම්බන්ධයෙන් ද තත්ත්වය එසේ ම වන්නේ ය.

ඉහ  ශාරිපුත්‍ර සර්වධර්මා ශුන්‍යතා ලක්ෂණා, අනුත්පන්නා, අනිරුද්ධා, අමලා, අනූනා, අපරිපූර්ණා.

මෙහිදී සාරිපුත්‍රයනි සියලු ධර්මයෝ ම  ශුන්‍යතා ලක්ෂණයෙන් යුක්ත වන්නාහ. ඒවා අනුත්පන්න ය, නිරුද්ධ වීමෙන් තොරය. කිළුටෙන් තොරය. අති පවිත්‍ර ය, ඌනනත්වයෙන් තොරය. අපරිපූර්ණ ය.

තස්මාන් ශාරිපුත්‍ර,ශුන්‍යතායාං න රූපං, න වේදනා, න සංඥා, න සංස්කාරා, න විඥානං, න චක්ෂු:-ශොත්‍ර-ඝ්‍රාණ-ජිහ්වා-ධාතුර් යාවන්, න මනෝවිඥාන ධාතු: න අවිද්‍යා-ක්ෂයෝ යාවන් න ජරාමරණං, න ජරාමරණ ක්ෂයෝ, න දුක්ඛසමුදයනිරෝධ මාර්ගා, න ඥානං, න ප්‍රාප්තිර් න අප්‍රාප්ති.

එමනිසා ශාරිපුත්‍රයනි, ශුන්‍යතාව තුළ රූපය ඇත්තේ නැත. වේදනාව නැත, සංඥාවෙන් නැත, සංස්කාර නැත, විඥානය නැත, චක්ෂු ශෝත්‍ර ඝ්‍රාණ ජිහ්වා කාය මනස් යනාදිය ඇත්තේ නැත. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් ඇත්තේ නැත. චක්ෂුර් ධාතුවේ සිට මනෝ විඥාන ධාතුව දක්වා කිසිවක් ඇත්තේ නැත. අවිද්‍යාවක් ඇත්තේ නැත. අවිද්‍යාව ක්ෂය කිරීමක් ඇත්තේ නැත. ජරාමරණයක් ඇත්තේ නැත. ජරාමරණ ක්ෂය කිරීමක් ඇත්තේ නැත. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යනදිය ඇත්තේ නැත, ඥානයක් ඇත්තේ නැත, ප්‍රාප්තියතක් ඇත්තේ නැත. අප්‍රාප්තියක් ද ඇත්තේ නැත.  ( ශුන්‍යතාව තුළදී මේ සියලු ධර්මයන් නොපවතින්නේය. මෙහිදී ඉවත් කර දමා ඇත්තේ (අවිද්‍යාව යනුවෙන් නිෂේධනය ම වන) අවිද්‍යාව පමණක් වන බව අප සිහිපත් කරගත යුතුය.)

තස්මාන් ශාරිපුත්‍ර අප්‍රාප්තිත්වාද් බෝධිසත්වස්‍ය ප්‍රඥාපාරමිතං ආශ්‍රිත්‍ය විහරති අචිත්තාවරණා නාස්‍තිත්වාද් අත්‍රස්තෝ විපර්‍යාසං අතික්‍රාන්තෝ නිෂ්ඨා නිර්වාණ ප්‍රාප්ත 

එමනිසා ශාරිපුත්‍රය බෝධි සත්වයාගේ ප්‍රාප්තිය අත්පත් කර නොගැනීම කරණකොටගෙන, ප්‍රඥාපාරමිතාව ආශ්‍රය කරගෙන ඔහු චිත්තාවරණයන් ගෙන් තොරව වාසය කරන්නේය. චිත්තාවරණයන් ගේ නැතිබව කරණ කොටගෙන ඔහු සංත්‍රාසයෙන් තොර වන්නේය, විපර්යාසයන් අතික්‍රමණය කරන්නේය, අවසානයේදී නිර්වාණයට පැමිණෙන්නේය

ත්‍රයධිව-ව්‍යවස්ථිතා: සර්වං බුද්ධා ප්‍රඥාපාරමිතාං ආශ්‍රිත්‍ය අනුත්තරාං සම්‍යක්සම්බෝධිං අභිසම්බුද්ධාඃ

තුන් කාලයන්හී පහළවන සියළු බුදුවරු ප්‍රඥනපාරමිතාව ඇසුරු කොටගෙන සම්‍යක් සම්බෝධිය අවබෝධ කරගන්නාහ.  ( බෝධිසත්වයන් පමණක් නොව සියලු බුදුවරුන් ද උන්වහන්සේලාගේ බුද්ධත්වය සාධනය අත්පත් කරගන්නේ ශුන්‍යත්වය අවබෝධ කරගැනීම තුළිනි.  බුදුවරු අසංඛ්‍යයහ, විවිධ ලෝක ධාතූන්හි අතීත වර්තමාන අනාගත යන ත්‍රිවිධ වූ කාලයන්හි පහළවන්නාහ. බුද්ධත්වය දිනාගැනීම සඳහා සියලු දේම අත්හැර දමා, උන්වහන්සේලා ගේ මව වූ ප්‍රඥාපාරමිතාව සහ එම ප්‍රඥාව තුළදී දකින ලද ශුන්‍යතාව මත පමණක් රඳා පවතින්නට උන්වහන්සේලාට සිදුවිය.)

තස්මාජ් ඥාත්ව්‍යං ප්‍රඥනපාරමිතා මහා මන්ත්‍රො මහා විද්‍යමන්ත්‍රො නුත්තර මන්ත්‍රො සමසම් මන්ත්‍රඃ, සර්වදුඃඛප්‍රශමනඃ සත්‍යං අමිථ්‍යත්වාත් ප්‍රඥාපාරමිතායාම් උක්තො මන්ත්‍රඃ තද් යථා
ගතේ ගතේ පාරගතේ පාරසංගතේ බෝධි ස්වාහ

එම නිසා මෙසේ දත යුත්තේය:  ප්‍රඥා පාරමිතාව මහ මන්ත්‍රය වන්නේය, මහාවිද්‍ය මන්ත්‍රය වන්නේය, අනුත්තර වූ මන්ත්‍රය වන්නේය, අසමසම වූ මන්ත්‍රය වන්නේය, සියලු දුක් උපශමනය කරන්නේය, මෙය සත්‍ය වන්නේ ය මක්නිසාද යත් මෙය මිත්‍යාවක් විය නොහැකි වන හෙයිනි. මෙය ප්‍රඥාපාරමිතා විසින් කියනලද මන්ත්‍රයක් වන හෙයිණි. : ගතේ ගතේ පාරගතේ පාරසංගතේ බෝධි ස්වාහ

ප්‍රඥාපාරමිතා හෘදය සූත්‍රය මෙතෙකින් සමාප්ත වන්නේය


වජ්‍රයෝගිනි - རྡོ་རྗེ་རྣལ་འབྱོར་མ་



වජ්‍රයානය (තාන්ත්‍රික බුදුදහම) තුළ වජ්‍රයෝගිනි නොහොත් වජ්‍රවරාහි යනු  බුද්ධත්වය කරා මග පෙන්වන්නා වූ  ඥානාත්මක කෘත්‍ය ස්ත්‍රී ජනනේන්ද්‍රියකි. ඇය භාවනාවෙහි ඉශ්ඨදේවතාවියකි වන්නීය. ( අනුත්තර යෝග තන්ත්‍ර ඉෂ්ඨදේවතා) එමෙන්ම ඇයගේ සාධනා තුළ අකල් මරණ වලින් වැළකීමේ අරමුණ මූලික වේ.

වජ්‍රයෝගිනිය සාමාන්‍යන් සර්වබුද්ධදකිණි යනුවෙන් ව්‍යවහාර වන්නේය. එනම්  "සියලු බුදු වරුන්ගේ සාරය වන දකිනියයි" ඇය සමස්ථ දකිණි යන්ගේ රැජිණයි. (දකිණි =බුද්ධත්වය කරා මග පෙන්වන්නා වූ  ඥානාත්මක කෘත්‍ය ස්ත්‍රී ජනනේන්ද්‍රියන්)

භජ්‍ර/වජ්‍ර යන්නෙන් සංකේත්වත් කරන්නේ ගිගුරුම සහ  විදුලියයි. වජ්‍රයේ පාළිකාව/ශක්තිය සහ හිමිකාරිය වන්නෙ වජ්‍රයෝගිනියයි. සමාන්‍යන් ඇයව දෘශ්‍යකරණය කරනු ලබන්නෙ තනිවමයි නමුත් ඇය හේරුක නම් ආරක්ශක දේවතාවා සමඟ එක් වූ විට හේවජ්‍ර නමින් හැඳින්වේ.  හේ යනු මහා කරුණාවයි. වජ්‍ර යනු ප්‍රඥාවයි.

වජ්‍රයෝගිනිය දක්වන්නේ පරහාසාත්මක තිනේත්‍රයන් ගෙන් යුක්ත වූ රත් පැහැති ශරීරයකින් හෙබි 16 වියැති යුවතියක් ලෙසිණි. ඇයගේ දක්ශිණ භාහුවෙහි වජ්‍ර කාර්ත්‍රියක් වේ. (වජ්‍රය සමඟ එක් කළ පිහියක්)වම් භාහුවෙහි රූධිරය සහිත කපාලයක් වන අතර ඇය එය පාණය කරමින් සිටින්නීය. ඇය ගෙලෙහි කපාල මාලවක් දරා සිටින අතර එයින් වචනයේ පිවිතුරු බව සංකේතවත් වන්නේය. ඇය ප්‍රබෝධය නම් රුධිරයෙන් කපාලය නම් භක්තිකයන් ව පුරවන්නේය.

ඇයගේ සත්‍ය මන්ත්‍ර සහ සාධනා ක්‍රම ඉතා රහසක් වන අතර අන්තර්ජාලය තුල ඒවා සොයාගත හැකි නමුදු, නිවැරදි ක්‍රමය ගුරු ඇසුරකින් පමණක් ලබාගත යුතු ය.




හෛෂජ්‍ය බුදුන් වහන්සේ - སངས་རྒྱས་སྨན་བླ


භෛෂජ්‍ය බුදුන් වහන්සේ යනු සමස්ථ දුඛ නිවාරණය කරන්නා වූ වෛද්‍යවරයාය. උන්වහන්සේ වෛදූර්‍යනිර්භාෂ නම් බුද්ධ ක්ෂේත්‍රයේ පාරමිතා ධර්මයන් පුරා බුද්ධත්වය ලබා ගත් භෛසජ්‍යගුරු නම් බෝධිසත්වයන් වහන්සේ වේ.
උන්වහන්සේගේ බුදු ගුණයන් පිළිබඳ සිතිමෙන් ජිවාත්මයන්ගේ සිතෙහි පවතින්න වූ පාපි සිතුවිලි ඉවත් වී ධර්ම ක්ෂාන්තිය ලබා වේ. උනවහනසේ මනුශ්‍යාගේ දුක නිවාරණය කරන්නේය. දුකට මහා ඖෂධයක් වන්නේය. ජනප්‍රවාදයන්ට අනුව උන්වහන්සේ විසින්ම ජනයාට සුව කිරිමේ ඥානය ලබා දීමට තම ශරීරය නිල් පැහැයට හරවා ගත් බව පැවසේ එබැවින් උන්වහන්සේ නිල් පැහැයෙන් පිළිබිඹු කරයි. අතර උන්වහන්සේගේ දෙපසින් සූර්‍යප්‍රභා සහ චන්ද්‍රප්‍රභා නමින් බෝධිසත්වරුන් දෙදෙනෙකු වැඩ සිටින්නේය.




නමෝ භගවතේ භෛසජ්‍යගුරු
වෛදූර්‍යප්‍රභාරාජාය තථාගතාය
අර්හතේ සම්‍යක්සම්බුද්ධාය තධ්‍යතා
ඕම් භෛෂජ්‍යේ භෛෂජ්‍යේ මහාභෛෂජ්‍ය සමුද්ගතේ ස්වාහා !

බුදුන් වහන්සේගේ ආනුභාවයෙන් සමස්ථ ජනතාවටම මානසික ශාන්තිය උදා වේවා..